මාර්ග ආරක්ෂාව – ඔබ ආදරය කරන්නේ නම් අත්‍යවශ්‍ය වේ

මාර්ග ආරක්ෂාව – ඔබ ආදරය කරන්නේ නම් අත්‍යවශ්‍ය වේ

ශ්‍රී ලංකාවේ වාහනවල ගමන් ගන්නා දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් වන නීති බලාත්මක කිරීමට බලපෑම් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර FIA සංගමය සහ ඔටොමොබයිල් සංගමයේ (AA) හවුල්කාරිත්වයෙන් ගෝලීය වසංගතයක් මධ්‍යයේ වුව ද මෝටර් රථ තුළදී ළමා ආරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටිනවා.

ලොව පුරා වාර්ෂිකව ළමුන් 186,000 ක් සහ පුද්ගලයින් මිලියන 1.3 ක් මාර්ග අනතුරු හේතුවෙන් විපතට පත්වෙනවා.එබැවින් උක්ත කාරණය පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ යුතුව ඇති බවත් අනවශ්‍ය ජීවිත හානි වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී අවධානයට ලක්වුණා.

ඔටොමොබයිල් සංගමයේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය ව්‍යාපාරය දියත් කරන ලද අතර, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලයේ සභාපති ඇන්ටන් ඩි මෙන්ඩිස්, පොලිස් දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ගමනාගමන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ වැනි පිරිසගේ දායකත්වය ද ඒ සඳහා ලැබී තිබුණා.වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ආසියානු සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව විශේෂිත තානාපතිවරයෙකු ලෙස ද පත් කෙරුණා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ඔටොමොබයිල් සංගමයේ ප්‍රධාන විධායක /ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි විසින් රිය පැදවීමේදී දෙමාපියන් තම දරුවන්ව උකුලේ තැබීමෙන් සිදුවන අහිතකර බලපෑම් පෙන්වා දුන්නා. ඔහු වැඩිදුරටත් සඳහන් කලේ කුඩා දරුවන් සමඟ ගමන් කිරීමේදී ළමා ආරක්‍ෂිත මෝටර් රථ ආසන භාවිතා කරන්නේ දෙමව්පියන්ගෙන් ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් බවයි.

එබැවින් මෝටර් රථ ආසනයක දරුවෙකු නිරූපණය කරන ත්‍රිභාෂා ලාංඡනයක් සමඟ ‘ඔබ ආදරය කරන්නේ නම් අත්‍යවශ්‍යයි’(A must if you love) යන තේමාව යටතේ වැඩසටහනක් දියත් කරනු ලැබූ අතර ඉහළ මට්ටමේ මාධ්‍ය ආවරණයෙන් පසුව මෙය විශිෂ්ට සාර්ථකත්වයක් පෙන්නුම් කළා.

සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ සහභාගිත්වය ද මෙහිදී ඉතා වැදගත් වූ අතර ඔහු විසින් ද මෙහිදී මාර්ග ආරක්ෂාව පිළිබඳ වැදගත්කම ඉස්මතු කරනු ලැබුවා.මාලගමුව මෙහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 8-10 ක් අතර පිරිසක් මහා මාර්ගයේදී මිය යන අතර, ගෝලීය වශයෙන් මරණ 3500ක් වාර්තා වන බවයි. එක්සත් ජාතීන්ගේ ‘මාර්ග ආරක්ෂාව සඳහා වූ දශකය 2011-2020’ යටතේ FIA විසින් සිදුකරන ලද සැලකිය යුතු ප්‍රයත්නයන් පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු අවධාරණය කළා.

නියාමන ආයතන සමඟ පුළුල් සාකච්ඡා මාලාවක් මගින් ඔටොමොබයිල් සංගමය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කර තිබෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලයේ සභාපතිවරයාගේ අනුමැතියෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ සහභාගීත්වයෙන් අම්බලන්තොට දී ද විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා.අමාත්‍ය මණ්ඩලය විසින් ගෝලීය නීති සම්පාදනයන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වාහනවල ගමන් ගන්නා දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ නීති හඳුන්වාදීමට විෂයභාර අමාත්‍යවරයා පොරොන්දු වූයේ එම අවස්ථාවේදියි.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ උත්සාහය දිගින් දිගටම ක්‍රියාත්මකයි. සිය කාර්ය මණ්ඩලය, සාමාජිකයන් සහ ස්වේච්ඡා සේවකයින්ගේ සහභාගීත්වයෙන් ඔටොමොබයිල් සංගමය මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් තවදුරටත් දියත් කරනු ලබනවා.

එම කණ්ඩායම රැගත් ඩබල් ඩෙකර් බස් රථය හරහා විවිධ ස්ථානවලදී මෙම දැනුවත්කිරීමේ කටයුතු සිදුකෙරුණා.මහජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා සාම්ප්‍රදායික ශ්‍රී ලංකා සංගීත කණ්ඩායමක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ වාහනවල ගමන් ගන්නා දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන්  නීති නොමැතිකමේ අඩුව සහ ඒ පිලිබඳ මහජන දනුවත්භාවයේ වැදගත්කම පිළිබඳව ද මෙම කණ්ඩායම විසින් මෙහිදී කරුණු පැහැදිලි කළා.

බස්නාහිර, මධ්‍යම හා දකුණු පළාතේ නගර පහළොවකට අධික සංඛ්‍යාවක ප්‍රධාන මාර්ග, මහජන පුස්තකාල, පොලිස් ස්ථාන, සාප්පු සංකීර්ණ, ක්‍රීඩා පිටි සහ කාර්යාල වලදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කෙරුණා. COVID-19 වසංගතයෙන් ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව රටේ අනෙකුත් පළාත් වල ද එම වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෝටර් රථ අනතුරු බොහෝ දුරට ළමයින් සහ වෙනත් වින්දිතයින් බොහොමයකගේ “නිහඬ මාරයෙකු” ලෙස සැලකිය හැකි අතර වාර්ෂිකව විශාල පිරිසක් ඊට ගොදුරු වීම හේතුවෙන් එයත් එක්තරා ආකාරයක මාරාන්තික වසංගතයක් බව අමතක කල යුතු නැහැ.එබැවින් ඊට අදාළ නෛතික පසුබිම ශක්තිමත් කරමින් එම වාතාවරණය මර්දනය කිරීමට වහා පියවර ගැනීමේ අවශ්‍යතාවක් ද මතුව තිබෙනවා.